Tuesday, April 21, 2009

අලුත් අවුරුද්දේ අලුත් වීම

බක්මහ උළෙල, සූර්ය මංගල්‍ය ආදී නම් වලින් හැඳින්වෙන ශ්‍රී ලංකාවේ අලුත් අවුරුද්ද පිළිබඳ කෙටි සටහනක් තියන්න හිතුවා. මෙහිදී පළමුව මෙම සංස්කෘතික උත්සවය ගැන හැඳින්වීමකුත් පසුව වර්ථමානයේ එහි හැඩයත් විමසා බලන්න උත්සාහ කරමු.

සිංහලයන්ගේ
අලුත් අවුරුදු උදාව සැමරෙන මෙම උත්සවය බොහෝ දෙනෙකු සිතා සිටින්නේ ඉන්දියාවෙන් අපට ලැබුනු බවකි. නමුත් එය රවණා අධිරාජයා ජීවත් වූ යුගය කරා යන්නකි. එකල හෙලයා හිරු දෙවියෝ ඇදහූ යුගයකි. මෙම කාල වකවනුව සූර්‍යයා ශ්‍රී ලංකාවට ලංවීයාම නිසා හෝ වෙනත් හේතුවක් නිසා හෝ මෙම කාල වකවානුව ඊට යොදා ගන්නට ඇත. මෙය හෙලයා විසින් අවුරුදු 5000ට අධික කාලයක් පවත්වා ගෙන එන අතර රාවණා අධිරාජයා හා ඉන්දියාවේ රාම කුමරු අතර පැවති සටනින් පරාජයවීමෙන් අනතුරුව ඉන්දියාවේ ඇති සංකෘතික ලක්ෂණ මෙම උත්සවය අවශෝෂණය වන්නට ඇත.

වර්තමානයේ සිංහල
අලුත් අවුරුද්දට ජ්‍යොතිෂවිද්‍යාව හැරුණු විට ප්‍රධාන වශයෙන් බලපා ඇත්තේ බුදු දහමයි (බුදුරජානන් වහන්සේ ජ්‍යොතිෂවිද්‍යාව බැහැර නොකලත් එයින් ජීවිතාවබොධයට පිහිටක් ලබාගත නොහැකි බැවින් ජ්‍යොතිෂවිද්‍යාව සරණ නොයන ලෙස අනුශාසනා කල සේක).
අලුත් අවුරුදු උදාවට ප්‍රථම පැමිණෙනෙන කාලය වෙන් කොට ඇත්තේ ආගමික කටයුතු සඳහාය. මෙය පුණ්‍ය කාලය ලෙස හඳුන්වයි. වසරේ අනෙකුත් දින වැස්සකට පවා පන්සල් නොයන අය මෙදින තෙල්, මල්, හඳුන්කූරු රැගෙන පවුලේ අය සමග පන්සලට යනු දැකිය හැක. අවුරුදු ලං වෙන විට ගෙවල් දොරවල්, බඩු මුට්ටු, අලුත් ඇදුම් පැලදුම් ද පවුලේ සාමාජිකයන් උදෙසා මිලදී ගැනීමට අමතක නොකරයි.
අලුත් අවුරුදු උදාවත් සමග ඉන්පසු පැමිණෙන්නේ ආහාර අනුභවය හා ගනුදෙනු කිරීමයි. මෙහිදී වසර පුරා තම අවශ්‍යතාවයන්ට ජලය සැපයූ ලිඳ සමග ගනු දෙනු කිරීම ප්‍රථමයෙන් සිදු කරන්නේ අප මහා බෝසතානන් වහන්සේ බුද්ධත්වයට පත්ව. ඒ සඳහා තමන් වහන්සේට සෙවණ සැලසූ ඇසතු බෝ රුක වෙත කල අනිමිස ලෝචනය සිහි කරමිනි. ඉන්පසු පවුලේ සැවොම එකට හිඳ ආහාර ගෙන වැඩිහිටියනට බුලත් හුරුල්ලක් දී වැඳ නමස්කාර කරනු ලබයි.

ඉන්පසු උදාවෙන හිසතෙල් ගෑමේ උත්සවයේ දී පවුලේ වැඩි හිටියෙකු විසින් සියළුම දෙනාගේ හිසට නානු ගා දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනු ලබයි (අතීතයේදී මෙන්ම තවමත් සමහර පලාත්වලදී මෙම උත්සවය සිදු වන්නේ ගම පන්සලේදීය). අවුරුදු සමයේ අසල් වාසීන්ට හා නෑදෑ හිතමිතුරන්ට කැවිලි පිඟානක් ගෙනයාම මගින් බුදු දහමේ ඇති දානයේ වැදගත් කමද මනාව ඉස්මතු කරයි.

මේ ආකාරයෙන් අතීතයේ සිට ගලා ආ
අලුත් අවුරුදු සමයට වර්ථමානයේ සමාජීය වෙනස් වීමක් සමගම ඇතිවී ඇති වෙනස් කම් හා ඇතුළු වී ඇති නව අංග ගැන විමසා බලමු. මේ ගැන කදිම විග්‍රහයක් කර තිබුනේ ආචාර්‍ය ධම්ම දිසානායක මහතාය. "අද ගමට අවුරුද්ද ගෙන එන්නේ නගරයෙනි. නගරයේ නෝනලා පැමිණ ගමේ තරුණ ගැටිස්සියන්ට රබන් කවි කියමින් රබන් ගසන්නට උගන්වති. බොහෝ විට මේ සඳහා රබන් ගෙන එන්නෙද නගරයෙනි. අවුරුද්ද පුරා ජීන්ස් ඇන්ඳ එම ලඳුන්ට එදිනට රෙද්ද හා හැට්ටය ඇඳීමට උගන්වති" යයි එතුමා කීවේය.

අවුරුදු උත්සව සංවිධානය කරනු ලබන්නෙද මහා පරිමාණ වෙළඳ ආයතන විසිනි. ඉන්පසු අවුරුදු උත්සවය කෙසේ වෙතත් ඔවුන්ගේ වෙළඳ ප්‍රචාරණ උපක්‍රමයක් බවට පත්කරනු ලබයි. සමහරු පවත්වන්නේ අවුරුදු උත්සව වෙනුවට අවුරුදු සැනකෙලිය (සැනකෙලි යනු බටහිරයන්ගේ විසින් ඔවුන්ගේ විනෝදය උදෙසා පවත්වනු ලබන්නකි. එහි
අලුත් අවුරුදු උත්සවයක ඇති හරයක් දක්නට නොමැත). මෙම සංවිධයාකවරු අවුරුදු අංග තෝරාගන්නේ ඔවුනට හා අනෙකුන්ට විනෝදය ගෙන දෙන එවා පමණි. සාමය, සතුට, සෞභාග්‍ය අතහැර විනෝදය පමණක් එක් කරයි (සතුට යනු විනෝදය නොවේ). එය ඔවුන්ගේ මඩි තර කර ගැනීමේ තවත් එක් උත්සාහයක් මිස වෙන යමක් නැත.

අප අපගේ වටිනා සංස්කෘතිය රැකගෙන අනාගත පරපුරට ද උරුම කර දුන්නා යැයි මුලාවෙන්ම මෙවර අවුරුද්ද සැමරුවෙමු.

ප. ලි. - මේ අල්ලපනල්ලේ බස්නාහිර පලාත් සභා ජන්දයද ලඟ ලඟම එයි. මේ ගැන මසුරන් කතාවත් කරු පරණවිතාන මහතා කියා තිබුනි. එනම් මෙවර සිටිනා සියළුම ජන්ද අපේක්ෂකයෙකුගේම (මොන "බයිලා" කිව්වත්) සටන් පාඨය වී තිබුනේ "මට ජය වෙවා" යනුවෙනි.

මමත්වය ඉතා දරුණු ලෙස හිස ඔසවා ඇත.

4 comments:

  1. නව යන අර්ථයේ අවුරුද්ද, අලුත් අවුරුද්දයි. එය අළුත් අවුරුද්ද වන්නේ නැත. අළු යනු යම් යම් දෑ දැවී ඉතිරි වන ද්‍රව්‍යයයි. හැම විට ම නිවැරදා අක්ෂර වින්‍යාසය භාවිතයට මහන්සිගන්න. ලිපිය හොඳයි. ගන්න අපේ දේ ලේබලය ප්‍රචාරය කරනවාට තුති.

    ReplyDelete
  2. නාමල්,
    බොහෝම ස්තූතියි අක්ෂර වින්‍යාසයේ අඩුපාඩු සම්බන්ධයෙන් දැනුවත් කිරීම පිළිබඳව. මම එය නිවැරදි කලා.

    ReplyDelete
  3. සුබ අළුත් අවුරුද්දක් VIVA! :P

    බහු ජාතික සමාගම් වල වෙළඳ පාඨ වීමට තරම් අපේ සංස්කෘතික අංග පහතට වැටී තිබීට ඇත්තටම කණගාටුවට කරුණක්!

    ReplyDelete
  4. ඔව්, එතන වෙලා තියෙන්නේ සංස්කෘතික අංග පහත් කිරීමක්. මේ වෙළදදැන්වීම් හදන උදවියගේ වගකීමක් තමන්ගේ රටේ සභ්‍යත්වය රැකගෙන මේ දේ කරන්න. නමුත් මුදල යට වූ සමාජයක මෙවැනි දේ කිරීම අපහසු වෙන්න පුළුවන්. ඒ නිසා යම් නීතිමය පියවර මගින් මෙවැනි දේ අවහිර කිරීම සාර්ථක වෙන්න පුළුවන්.

    ReplyDelete