Sunday, November 4, 2012

මහදැනමුත්තයි ගොලයො රොත්තයි

ම දැක්ක ගමන් මතක් වෙන්නේ අවුරුදු 80ක් විතර වයසක් ඇති කෙට්ටු, උස, නැමිපනාව ඔලුවේ ගහගෙන ඉන්න සීයා කෙනෙක් නේද? ඉඳිකටු පැංචා, පුවක් බඩිල්ලා, පොල්බෑ මුණා, කෝටු කිතයියා සහ රබ්බඩ අයියා කියන මේ ගෝලයෝ පස්දෙනාවත් එක්කරගෙන අලියාගේ පිටේ ගිහින් කරපු මෝඩ වැඩ ගැන අපි පුංචිකාලෙ බඩ අල්ලාගෙන හිනා වුන හැටි මතකයි නේද?

මේක පොතක් කිව්වට පර්යේෂණ කෘතියක් කිව්වොත් තමයි වඩා නිවැරදි වෙන්නේ. මේ පොත ලියලා තියෙන්නේ යේසුස් නම් බුද්ධ ශ්‍රාවකයාණෝ, පිතගුරුස්, අල්ලාහු අක්බර් වගේ පර්යේෂණාත්මක කෘති ගණනාවක් සම්පාදනය කළ කතෘන් දෙදෙනෙකු වන කොලට් සේනානායක සහ නාරද කරුණාතිලක මහත්වරුන් විසින්. ප්‍රකාශක ඇස්. ගොඩගේ සහ සහෝදරයෝ.

ඇත්තටම මේ
පොතේ ඉල්ලක් ගත කණඩායම වෙන්නේ පොඩි ළමයි උනාට මම මේ පොත ගන්න යද්දී කඩේ හිටපු කෙනා කිව්වා "මේ පොත මමත් කියෙව්වා, කියවලම බලන්නකෝ පොඩි අයට වගේම ලොකු අපිටත් වැදගත්". පොතේ ඉන්නේ කතා නායිකාවක්, පොඩි දුවෙක් එයාට තෑගි ලැබුණ පොතක් නිසා කවුද මේ මහදැනමුත්තා කියල හොයන්න උනන්දු වෙන හැටි.

පොතේ එක තැනෙක තියෙනවා මහදැනමුත්තා මුටිටියේ හිරවුන එළුවා එලියට ගත්ත හැටි,
අපි කවුරුත් දන්නා විදියට ඒ කතාවේ  ඒ ගම වටා ලොකු තාප්පයක් තිබිල තියෙනවා, හැබැයි පැරණි සිංහල ගම්වල එහෙම ලොකු තාප්ප වලින් ගම වට කරනවා කියලා අපි අහල නෑ, ඒවගේම අපේ මිනිස්සු ගවයෝ ඇතිකලාට එළුවෝ ඇතිකරලා නෑ නොවැ ඔය වගේ සාධක නිසා අපිට සැක කරන්න වෙනවා මේ කතා කවුරු හරි සිංහල සමාජයේ සිරිත් හා විරිත් අපහාසයට හා උපහාසයට ලක්කරන්න හදපුවාද කියල. ඉතින් මේ පොතේ ඔය වගේ මහදැනමුත්තාගේ කතා කීපයක්ම උදාහරණ විදියට අරගෙන විශ්ලේෂණය කරනවා.

මේ පොතේ එක තැනක පන්සලේ පොඩි හාමුදුරුවෝ ඇවිල්ල කරන පැහැදිලි කිරීමක් මෙන්න මෙහෙම තියෙනවා, ඉස්සර ගම පාලනයවුණේ ප්‍රධාන වශයෙන් පුද්ගලයන් පස් දෙනෙක්ගෙන්, ඒගොල්ලන්ව හඳුන්වල තියෙන්න තොවිල්පහ කියලයි. ගමරාල, වෙදානෝ, විල්ලඹුආතා, හෙනමාමා, වතුරමංකඩ කියන පස්දෙනා තමයි තොවිල්පහ කියල හදුන්වලා තියෙන්නේ. ගමරාල කියන්නේ ගොවියන්ගේ නායකයා, වෙදානෝ කියන්නේ වෙදමහත්තයා, විල්ලඹුආතා කියන්නේ දරුඋපතක් වෙනකොට පිහිට වෙන කෙනා(මේක කාන්තා තනතුරක්, ආතා කියල ඉස්සර ගැහැණු, පිරිමි දෙපක්ෂයටම භාවිතා කරලා තියෙනවලු), හෙනමාමා තමයි ගමේ සෞඛ්‍ය ආරක්ෂකයා, වතුරමංකඩ තමයි වැව බාරව ඉන්න කෙනා. පන්සලේ හාමුදුරුවෝ තමයි තොවිල්පහට අවවාද අනුශාසනා දුන්නේ, ඒ කියන්නේ තොවිල්පහේ නායකයා උනේ ගමේ පන්සලේ හාමුදුරුවෝ. ඉතින් මේ මහදැනමුත්තා කතා හදපු අයගේ අරමුණ උනේ මේ තනතුරු විවේචනය කරලා අපේ සිංහල සමාජයේ තිබ්බ සිරිත් හා විරිත් හාස්‍යට ලක් කරන්නයි.

කවුද මේක කලේ? ඉස්සර අපේ රට ආක්‍රමණය කරපු පරංගි, පෘතුගීසි, ලන්දේසි උදවිය දැන් අපි ජිවත් වෙන සිවිල් සමාජය සඳහා අඩිතාලම දමනු ලැබුවා. මෙහෙ ඉස්කෝල හදල ඒවායේ ළමයිට ඉගැන්නුවා. එතකොට පල්ලි හදල ඒවායේ ආගම ප්‍රචාරය කරන්න උගත් බුධිමත් මිෂනාරි පුජකවරුන් ගෙන්නුවා. මේ ඉස්කෝල සියල්ල පාලනය කලේ මේ පුජකවරු. ඉතින් මහදැනමුත්තා හා ගොලයො රොත්ත ඔවුන්ගේ නිර්මාණයක් වෙන්න බොහෝ විට ඉඩ තියෙනවා.

මම මෙතන කිව්වේ ඔය පොතෙන් 2% වගේ ප්‍රමාණයක්, තව ගොඩක් කරුණු ඉතා රසවත්ව ඉදිපත් කරලා තියෙනවා, අරගෙන කියවලා බලන්න. ඒ වගේම ඔය උපන්දින වලට පොඩි ළමයෙකුට දෙන්න ඉතා හොඳ තෑග්ගක්.

Monday, October 29, 2012

සල්ලි දෙයියන්ගේ මල්ලිද?

ල්ලි දෙයියන්ගේ මල්ලි කියල අපි කටවහරේදී භාවිතා කලාට සල්ලි දෙයියන්ගේ මල්ලිද, අයියද එහෙමත් නැත්නම් තාත්තද කියල වෙනම හොයල බලන්න වෙනවා අද කාලේ භාවිතයත් එක්ක බැලුවම. හැබැයි මම කියන්න යන්නේ වෙනමම කතාවක්, කතාවක් කිව්වට පොඩි උපදෙස් කීපයක්, මම මුදල් පරිහරණය සමබන්ධයෙන් පිළිපදින. පොඩි ඉතිහාස කතාවක් තියෙනවා, ඒක කියලම පටන්ගමුකො එහෙනම්...

ඔන්න කාලයක් අපි සෙට් එකක් බෝඩිමකට වෙලා හිටියා, ඉගෙනගෙන අහවර වෙලා කට්ටියම එක එක තැන් වල රැකියා කරමින් තමයි උන්නේ. ඉතින් උදේට බොහෝවේලාවට එකා දෙන්න සෙට් වෙලා කයියකුත් ගෙන යනවා, දවසක් මමයි තව මගේ යාළුවෙකුයි යන කොට මිනිහ මට මෙන්න මෙහෙම කිව්වා. "මචං ඊයේ රෑ සලියා කිව්වා, බලපන් මාසේ අන්තිමට අපි ළඟ සතපහක්වත් නෑ, කොහොම කලත් ඉතුරු කරන්න බැරි හැටි... හැබැයි මම දැකල තියෙනවා රැපා ගාව නම් කීයක් හරි තියෙනවා. මම දැකල නෑ කවදාවත් ඌ සල්ලි පොඩිකරලා, නවලා පර්ස් එකේ දාගෙන ඉන්නවා, සල්ලි කොළ ඔක්කොම දිග අතට තමයි ගෙන ඉන්නේ, එක වෙන්න ඇති හේතුව. එක නිසා අපිත් ඒ විදිහට දාලා බලමු" මට ඕක ඇහුව විතරයි බකස් ගාලා හිනා ගියා. මොකද මම එහෙම සල්ලි දාන්න පුරුදු උනේ වෙනම හේතුවක් නිසා. ඒ තමයි දවසක් කල්පනා කර කර ඉන්දැද්දී හිතුනා අපේ රටේ බහුතරයක් දෙනා සල්ලි දාන්න පුරුදු වෙලා ඉන්නේ නවලා, පොඩි කරලා කොහේ හරි ගහගන්නවා. තවත් අසමජාතියෝ ටික දෙනෙක් සල්ලි කොලවල බලි අඳිනවා. ඉතින් ඔය වැඩවලින් වෙන්නේ සල්ලි කාලයක ආයු කාලය අපේක්ෂිත කාලයට කලින් භාවිතයෙන් අයින් කරන්න වෙනවා. එතකොට සල්ලි කොළ අලුතින් අච්චු ගහන්න වෙනවා, අපේ රටේදී ඒක කරන්න තාක්ෂණය මදි නිසා ඒවා කරන්නේ පිටරටකදී, ඉතින් ඒකට සැහෙන මුදලක් යනවා. දැන් කාගේ මුදල්ද මේවා අලුතෙන් අච්චුගහන්න වියදම් වෙන්නේ? අපේම සල්ලි තමයි... ඇයි ඉතින් අපිට බැරි ඕක පරිස්සමින් පාවිච්චි කරලා, දවසක් හරි සල්ලි කොලේ ආයු කාලය වැඩි කරලා අපේම සල්ලි අපේ රටේ ප්‍රයෝජනවත්
වෙන වැඩකට යොදවන්න බැරි? ඔන්න ඔය සිතුවිල්ල තමයි මාව අර පුරුද්ද ඇති කරන්න හේතු වුනේ.

ඔන්න
තව දවසක් මමයි මගේ යාළුවෙකුයි ගියා ව්‍යාපාරිකයෙක් හම්බෙන්න. ඒ ගියේ ඔහුට අපෙන් උපදෙස් වගයක් ගන්න ඔනිවෙලා තිබ්බා ඔහුගේ ව්‍යාපාරයට. ඉතින් අපේ කාලයට, බස් ගාස්තු වලට යම් මුදලක් දෙන්න ඔහු පොරොන්දු වෙලා තිබ්බේ. අපි ගිහිල්ල වැඩේ කරලා එන්න පිටත් වෙන්න සැරසෙන කොට ඔහු පර්ස් එකෙන් සල්ලි අරන් දුන්නා, මාත් එක්ක ගිය යාළුවා ඒ සල්ලි ගන්න අත දික් කලහම ඔහු මුදල් ටික අපහු අකුළුවා ගෙන කිව්වා "පුතා, කවදාවත් සල්ලි ගන්න කොට හරි, දෙනකොට හරි වම් අත පාවිච්චි කරන්න එපා. ඒක සල්ලි වලට කරන අගෞරවයක්. ඒක අපි ව්‍යාපාරවලදී අනුගමනය කරන රීතියක්"

ඒ වගේම බුදු රජාණන් වහන්සේ සිගාලෝවාද සුත්‍රයේදී මුදල් පරිහරණ ගැන මනා කොට දේශනා කරලා තියෙනවා.

නුවණැති පුද්ගලයා තමාගේ වස්තුව කොටස් හතරකට බෙදා පාවිච්චි කරයි,

  • එක කොටසක් පරිභෝජනයට යොදා ගනී 
  • කොටස් දෙකක් කර්මාන්ත ආදියෙහි වැඩි දියුණුවට යොදවයි 
  • අනෙක් කොටස විපතකදී ප්‍රයෝජනයට ගැනීමට ආරක්ෂා කොට තබයි

වැඩි විස්තර ඕනි අයට පහත යොමු වලට ගියොත් කියවන්න පුළුවන්


http://thripitakaya.blogspot.com/2012/09/blog-post.html

http://www.dinamina.lk/2012/05/09/_art.asp?fn=a1205094

http://www.lakehouse.lk/budusarana/2009/03/26/PrintPage.asp?REF=vision04


ඉතින් ඔබත් මුදල් පරිහරණය කරනකොට මේ කරුණු කිහිපය අනුගමනය කරලා බලන්න. හොඳ ප්‍රතිපල ලැබේවි.


Monday, October 15, 2012

අවසන් දේශනය

සැප්තැම්බර් කියන්නේ සාහිත්‍යට මුල් තැනක් දෙන මාසය කියල ඉතින් පොත පත ගැන උනන්දුවක් දක්වන අය‍ට ආයේ කියන්න ඕනි දෙයක් නෙමෙයි නොවැ. ඔන්න මෙවරත් සුපුරුදු ලෙසටම ගිය මාසයේ කොළඹ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශණය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී තිබ්බා කියමුකෝ. මම මේ ප්‍රදර්ශණය බලන්න හා හා පුරා කියල මුලින්ම ගියේ ගිය අවුරුද්දේ (ලැජ්ජාවේ පණ යනවා ඔයි). ඒ පාර ගිය වෙලාවේ ගත්ත පොත් තොගයෙන් සෑහෙන්න ප්‍රමාණයක් තවම පොත්කඩේ තියෙන තත්වෙන්ම ගෙදර පරිස්සමට වගේ තියල තියෙන නිසා මේ පාර කිසිම උනන්දුවක් තිබ්බේ නෑ ඕක බලන්න යන්නවත්. එත් ඉතින් එක දවසක හැන්ද කොරේ ගියා පොඩි රවුමක් ගහන්න, මොකද අපේ අම්ම කිව්වා බණ පොත් වගයක් ගේන්ඩ කියල. දැන් ඒ පොත් මිටියත් කරේ තියාගෙන නුඩ්ල්ස් එකකුත් තළු මරණ අතරේ හිතුනා අපු එකේ පොඩ්ඩක් එහෙ මෙහෙ ඔළුව දාලම යන්න ඕනි කියල. දැන් ඔහොම පොත් අතගගා යන අතරේ එක පාරටම පොතක් තිබුණා "අවසන් දේශනය" කියල මේක ලියල තිබ්බේ "රැන්ඩි පොෂ්" කියන මහාචාර්යවරයා, පොත පරිවර්තනය කරලා තිබ්බේ කාලයක් දිවයින පත්තරේ වැඩ කරලා දැන් කැනඩාවේ පදිංචි වෙලා ඉන්න සමන් කළුආරච්චි මහත්මයා විසින් ඒ වගේම පොත් ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ සුරිය ප්‍රකාශකයෝ විසිනුයි. පටන් ගන්න කලින් තව දෙයක් කියන්න ඕනි මේ මහාචාර්යවරයාගේ කතාව ස්ටීව් ජොබ්ස් ගේ කතාවට බොහෝ දුරට සමානයි කියල මට නම් හිතුනේ.


කතා සාරාංශය මෙහෙමයි,

අපේ කතානායක මහාචාර්යවරයාට අග්නාශයේ පිළිකාවක් හැදිලා කියල වෛද්‍යවරු හොයා ගන්නවා. ඒ එක්කම ඔහුට තව ජිවත් වෙලා ඉන්න තියෙන්නේ මස හයක් වගේ කාලයක් කියලත් කියනවා. මේ අතරේ "කානගි මෙලන්" නම් සරසවියේ පවත්වාගෙන යන "අවසන් දේශනය" කියන දේශනා මාලාවේ එක කොටසක් කරන්න මොහුට ආරාධනා ලැබෙනවා. මෙහි අරමුණ තමයි තෝරාගත් මහාචාර්යවරුන්ගේ ජිවිත අත්දැකීම් අන් අය‍ට ආදර්ශය පිණිස බෙදා දීම. කොහොම හරි මේක දැනගත්ත රැන්ඩිගේ බිරිඳ මේකට විරුද්ධ වෙනවා, ඒ හේතු සහිතව. ඇය කියනවා "මම ආත්මාර්ථකාමියෙක් කියල කියන්න, එත් ඔයාව මට සම්පුර්ණයෙන් ඕනි, මොකද ඔයා ඔය දේශණය සඳහා ගතකරන කාලය මගෙනුයි දරුවන්ගෙනුයි ඈත් වෙලා ඉන්නේ" කොහොම හරි බිරිඳවත් අන්තිමට කැමති කරවාගෙන එම දේශනය සඳහා අමුද්‍රව්‍ය සකස් කර ගන්නවා.

ඉතිං එදා දේශනය ඉතා විචිත්‍රවත් ලෙස තම ළමා කාලය, දෙමව්පියන්, ඔවුන්ගෙන් ලත් ආදර්ශ, ළමාවියේ රසමුසු තැන්, ළමාවියේ සිට සිහින පුරුදු කිරීමේ වැදගත් කම, එම සිහින පසු පස හඹා ගොස් ඒවා යථාර්ථ බවට පත් කර ගැනීම, ඔහුගේ පෙම්වතිය හමුවීමේ රසමුසු සහ දුක්බර තැන්, විවාහ ජීවිතය, අභියෝග සහ වගකීම්, දරුවන් ගේ විස්තර ආදී එකී, මෙකි, නොකී සෑම දෙයක්ම හරහා ප්‍රක්ෂකයාව මනරම් සවාරියක් ඔහුගේ ජිවිත චාරිකාව හරහා ගෙනයනු ලබනවා. මේ සඳහා ඔහු මනාව සැකසූ ස්ලයිඩ් ෂෝ එකක සහයෝගයද ලබා ගන්නවා. මෙම පොත ඔහු විසින් පසුව ලියා ඇත්තේ එම දේශණය පදනම් කරගෙනයි. ඇත්තටම මම සාමාන්‍යයෙන් කියවන්න ටිකක් වැඩිපුර කාලය ගන්න කෙනෙක්, ගොඩක් වෙලාවට පොතක් ගත්තත් කොටස් වශයෙන් තමයි කියවන්නේ. හැබැයි මේ පොත මම දවසින් කියවල ඉවර කළා, ඒක එතරම්ම රසවත් සහ හැගුම්බර ලෙස ලියල තිබුණා, මට නං හිතුනේ අවුරුදු 100ක් ජිවත් වෙලත් ගන්න බැරි තරම් අත්දැකීම් තොගයක් පැය කීපයක් තුල ලැබුනා කියල. තව මාස කීපයකින් මැරෙන්න යනවා කියල තක්කෙටම දන්නකොට ඇතිවෙන මානසික තත්වය කියවන පාඨකයාට ඉතා සමීප වන ආකාරයට මෙහි ලියල තියෙනවා. සමහරක් විට ඔහුගේ විෂය වර්චුල් රිඇලටි වූ නිසාදෝ මෙම විස්තර කිරීමේ කුසලතාවය ලැබුනා විය හැකියි. කෙසේ නමුත් ජිවිතයේ අනියත බව පසක් කරමින් මෙම මහාචාර්යවරයා 2008 වර්ෂයේ ජුලි මස 8 වන දින අප අතරින් සදහටම සමු ගන්නවා.

මට මේ පොත කියවන අතරේ මතක් උනා "ඇමරිකන් බියුටි" කියන ෆිල්ම් එකේ තියෙන මම ඉතාමත් අසාකරන දසුනක් (http://www.youtube.com/watch?v=gHxi-HSgNPc). මෙන්න මේවගේ තමයි අපේ ජීවිතයත්, හරියට නිකං හුළගේ යන ෂොපින් බෑග් එකක් වගේ. කලකට එය සතුට සොම්නස උතුරා යන ලෙසත්, තවත් කලෙක සෝ සුසුම් දුක කඳුල ගලා යන ලෙසත් සකස් වී පවතින්නක්. මේ ගැන උදාහරණ සහිතව පෙන්වාදෙන සිද්ධියක් තමයි මේ මහාචාර්යවරයාගේ නිමා වුන ජීවිතාන්දරය.



ප.ලි.  තවත් නියම පොත් ටිකක් ගත්තා, ඒවත් කියවලා, ඉඩක් ලැබුනහම දාන්නම්කො විස්තරේ, බ්ලොග් එකේ...