Monday, October 15, 2012

අවසන් දේශනය

සැප්තැම්බර් කියන්නේ සාහිත්‍යට මුල් තැනක් දෙන මාසය කියල ඉතින් පොත පත ගැන උනන්දුවක් දක්වන අය‍ට ආයේ කියන්න ඕනි දෙයක් නෙමෙයි නොවැ. ඔන්න මෙවරත් සුපුරුදු ලෙසටම ගිය මාසයේ කොළඹ අන්තර් ජාතික පොත් ප්‍රදර්ශණය බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී තිබ්බා කියමුකෝ. මම මේ ප්‍රදර්ශණය බලන්න හා හා පුරා කියල මුලින්ම ගියේ ගිය අවුරුද්දේ (ලැජ්ජාවේ පණ යනවා ඔයි). ඒ පාර ගිය වෙලාවේ ගත්ත පොත් තොගයෙන් සෑහෙන්න ප්‍රමාණයක් තවම පොත්කඩේ තියෙන තත්වෙන්ම ගෙදර පරිස්සමට වගේ තියල තියෙන නිසා මේ පාර කිසිම උනන්දුවක් තිබ්බේ නෑ ඕක බලන්න යන්නවත්. එත් ඉතින් එක දවසක හැන්ද කොරේ ගියා පොඩි රවුමක් ගහන්න, මොකද අපේ අම්ම කිව්වා බණ පොත් වගයක් ගේන්ඩ කියල. දැන් ඒ පොත් මිටියත් කරේ තියාගෙන නුඩ්ල්ස් එකකුත් තළු මරණ අතරේ හිතුනා අපු එකේ පොඩ්ඩක් එහෙ මෙහෙ ඔළුව දාලම යන්න ඕනි කියල. දැන් ඔහොම පොත් අතගගා යන අතරේ එක පාරටම පොතක් තිබුණා "අවසන් දේශනය" කියල මේක ලියල තිබ්බේ "රැන්ඩි පොෂ්" කියන මහාචාර්යවරයා, පොත පරිවර්තනය කරලා තිබ්බේ කාලයක් දිවයින පත්තරේ වැඩ කරලා දැන් කැනඩාවේ පදිංචි වෙලා ඉන්න සමන් කළුආරච්චි මහත්මයා විසින් ඒ වගේම පොත් ප්‍රකාශයට පත්කරලා තියෙන්නේ සුරිය ප්‍රකාශකයෝ විසිනුයි. පටන් ගන්න කලින් තව දෙයක් කියන්න ඕනි මේ මහාචාර්යවරයාගේ කතාව ස්ටීව් ජොබ්ස් ගේ කතාවට බොහෝ දුරට සමානයි කියල මට නම් හිතුනේ.


කතා සාරාංශය මෙහෙමයි,

අපේ කතානායක මහාචාර්යවරයාට අග්නාශයේ පිළිකාවක් හැදිලා කියල වෛද්‍යවරු හොයා ගන්නවා. ඒ එක්කම ඔහුට තව ජිවත් වෙලා ඉන්න තියෙන්නේ මස හයක් වගේ කාලයක් කියලත් කියනවා. මේ අතරේ "කානගි මෙලන්" නම් සරසවියේ පවත්වාගෙන යන "අවසන් දේශනය" කියන දේශනා මාලාවේ එක කොටසක් කරන්න මොහුට ආරාධනා ලැබෙනවා. මෙහි අරමුණ තමයි තෝරාගත් මහාචාර්යවරුන්ගේ ජිවිත අත්දැකීම් අන් අය‍ට ආදර්ශය පිණිස බෙදා දීම. කොහොම හරි මේක දැනගත්ත රැන්ඩිගේ බිරිඳ මේකට විරුද්ධ වෙනවා, ඒ හේතු සහිතව. ඇය කියනවා "මම ආත්මාර්ථකාමියෙක් කියල කියන්න, එත් ඔයාව මට සම්පුර්ණයෙන් ඕනි, මොකද ඔයා ඔය දේශණය සඳහා ගතකරන කාලය මගෙනුයි දරුවන්ගෙනුයි ඈත් වෙලා ඉන්නේ" කොහොම හරි බිරිඳවත් අන්තිමට කැමති කරවාගෙන එම දේශනය සඳහා අමුද්‍රව්‍ය සකස් කර ගන්නවා.

ඉතිං එදා දේශනය ඉතා විචිත්‍රවත් ලෙස තම ළමා කාලය, දෙමව්පියන්, ඔවුන්ගෙන් ලත් ආදර්ශ, ළමාවියේ රසමුසු තැන්, ළමාවියේ සිට සිහින පුරුදු කිරීමේ වැදගත් කම, එම සිහින පසු පස හඹා ගොස් ඒවා යථාර්ථ බවට පත් කර ගැනීම, ඔහුගේ පෙම්වතිය හමුවීමේ රසමුසු සහ දුක්බර තැන්, විවාහ ජීවිතය, අභියෝග සහ වගකීම්, දරුවන් ගේ විස්තර ආදී එකී, මෙකි, නොකී සෑම දෙයක්ම හරහා ප්‍රක්ෂකයාව මනරම් සවාරියක් ඔහුගේ ජිවිත චාරිකාව හරහා ගෙනයනු ලබනවා. මේ සඳහා ඔහු මනාව සැකසූ ස්ලයිඩ් ෂෝ එකක සහයෝගයද ලබා ගන්නවා. මෙම පොත ඔහු විසින් පසුව ලියා ඇත්තේ එම දේශණය පදනම් කරගෙනයි. ඇත්තටම මම සාමාන්‍යයෙන් කියවන්න ටිකක් වැඩිපුර කාලය ගන්න කෙනෙක්, ගොඩක් වෙලාවට පොතක් ගත්තත් කොටස් වශයෙන් තමයි කියවන්නේ. හැබැයි මේ පොත මම දවසින් කියවල ඉවර කළා, ඒක එතරම්ම රසවත් සහ හැගුම්බර ලෙස ලියල තිබුණා, මට නං හිතුනේ අවුරුදු 100ක් ජිවත් වෙලත් ගන්න බැරි තරම් අත්දැකීම් තොගයක් පැය කීපයක් තුල ලැබුනා කියල. තව මාස කීපයකින් මැරෙන්න යනවා කියල තක්කෙටම දන්නකොට ඇතිවෙන මානසික තත්වය කියවන පාඨකයාට ඉතා සමීප වන ආකාරයට මෙහි ලියල තියෙනවා. සමහරක් විට ඔහුගේ විෂය වර්චුල් රිඇලටි වූ නිසාදෝ මෙම විස්තර කිරීමේ කුසලතාවය ලැබුනා විය හැකියි. කෙසේ නමුත් ජිවිතයේ අනියත බව පසක් කරමින් මෙම මහාචාර්යවරයා 2008 වර්ෂයේ ජුලි මස 8 වන දින අප අතරින් සදහටම සමු ගන්නවා.

මට මේ පොත කියවන අතරේ මතක් උනා "ඇමරිකන් බියුටි" කියන ෆිල්ම් එකේ තියෙන මම ඉතාමත් අසාකරන දසුනක් (http://www.youtube.com/watch?v=gHxi-HSgNPc). මෙන්න මේවගේ තමයි අපේ ජීවිතයත්, හරියට නිකං හුළගේ යන ෂොපින් බෑග් එකක් වගේ. කලකට එය සතුට සොම්නස උතුරා යන ලෙසත්, තවත් කලෙක සෝ සුසුම් දුක කඳුල ගලා යන ලෙසත් සකස් වී පවතින්නක්. මේ ගැන උදාහරණ සහිතව පෙන්වාදෙන සිද්ධියක් තමයි මේ මහාචාර්යවරයාගේ නිමා වුන ජීවිතාන්දරය.



ප.ලි.  තවත් නියම පොත් ටිකක් ගත්තා, ඒවත් කියවලා, ඉඩක් ලැබුනහම දාන්නම්කො විස්තරේ, බ්ලොග් එකේ...


2 comments:

  1. Ane ammoooooooooooooooo menna ekkenek blog eka aayeth update karala :O.. hehe pudumayi eeth aththayi! Watinaa kiyana lipiyakinma aayeth blog gamana arambuwaata apitath ithin santhosyai :P

    ReplyDelete
  2. අනේ ඉතින් ඉඳල හිටලා පොස්ට් එකක් දැම්ම කියල ඔහොම කෝචෝක් කරන්න හොඳ නෑ නොවැ :D

    ReplyDelete